ශ්‍රමයේ වටිනාකම පිළිබඳ නැවත සිතීම

07 May 2015 - Commentary

වත්මන් දින සීයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වැඩපිළිවෙලින් කම්කරු පංතියට ලැබෙන්නේ කුමක් ද? මෙම ව්‍යාපාරයේදී යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ කතිකාවට අමතරව පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන දේශපාලන අවකාශයක් නිර්මානය කර ගැනීමට වැඩ කරන ජනතාව සමත් වී තිබේ.

2005දී අයවැයෙන් දුන් වැටුප් වැඩි කිරීම පරිද්දෙන් පාර්ලිමේන්තු පනතක් ඔස්සේ නෛතිකව රු. 2500ක වැටුප් වැඩි කිරීමක් ලබා දෙන ලෙස වෘත්තීය සමිති වර්තමානයේදී ඉල්ලා සිටියි.

පෞද්ගලික අංශයේ සේවකයන්ට දැනට ගෙවනු ලබන අවම වැටුප රු. 10,000කි. එහෙත් රජයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රු. 11,370කි. ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වාට අනුව රජයේ සේවකයන්ගේ දීමනාවල ද සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබේ. ඒ අනුව රජයේ සේවකයෙකුට දීමනා ඇතුළුව අවම වශයෙන් රු 25,040 (අඩු කිරීම වලට පෙර) මාසික වැටුපක් හිමිවේ.

රු. 2500 වැටුප් වැඩිවීම දිනාගැනීමේ අරගලය රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් අතර සමානාත්මතාව දිනාගැනීමේ දිගු කාලීන අරගලයක කොටසකි. රාජ්‍ය සේවයේ නියුතු සේවකයිනට බොහෝ ප්‍රතිලාභ හිමිවේ.මේ අතර පෞද්ගලික අංශ‍යේ සේවායෝජකයෝ මෙවැනි අනිවාර්ය වැටුප් වැඩි කිරීමකට විරෝධය පළ කරති. ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනය කරුණු දෙකක් මත පදනම්ව තර්ක කරයි.

1) පෞද්ගලික අංශයට සියලු සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නට හැකියාවක් නැත.

2) වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් සේවකයන් හා සේවායෝජකයන් අතර ගිවිසුම් තිබේ.

වත්මන් වැටුප් කතිකාවේ යථාර්ථය වටහා ගැනීමට නම් ශ්‍රමයේ සැබෑ වටිනාකම් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. එය සාධාරණ හිමිකම් දිනාගැනීම සඳහා වූ ජන අරගලය මත පදනම් වේ.

නිෂ්පාදන වියදම

ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනයේ තර්කය අනුව, මුලින් සේවායෝජකයෝ පිරිවැය ආවරණය කිරීමේ වගකීම කම්කරුවන් මත පටවමින් වැටුප් පහළ මට්ටමක තබා ගනිති. ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ වන සෙසු භෞතික සාධක මොනවාද යන්නයි.

ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනය පවසන්නේ එවැනි වැටුප් වැඩි කිරීමක් කුඩා ව්‍යවසායකයන්ට අහිතකර අන්දමින් බලපෑ හැකි බවයි. එහෙත්, මෙම තර්කය තුළ ආර්ථිකයට බලපාන සුළු ව්‍යපාර සඳහා ණය ලබාගැනීමේ හැකියාව වැනි ක්‍රමයේ ගැටලු නොතකා හරිනු ලැබේ. ගෝලීය මුල්‍ය අර්බුදයේදීද මෙය නොතකා හැරිණි.

එසේම, කම්කරුවන්ගේ ඵලදායිතාව තීරණය වන්නේ වැඩකිරීමට සිදු වී තිබෙන තත්වයන් මත ය. නිදසුනක් ලෙස නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමිකයන් නිෂ්පාදන ඉලක්ක සපුරනු වස් ශාරීරිකව දැඩි පීඩනයකට ලක් කරනු ලැබේ.

පෞද්ගලික අංශයේ ලාභය පවත්වාගෙන යාම සඳහා සේවක වැටුප් පහළ මට්ටමක පවත්වාගෙන යාමේදී සේවකයන්ගේ පාලනයෙන් එහා පවතින මෙවැනි සාධක කෙරෙහි අවධාන‍ය යොමු වන්නේ නැත.

සේවායෝජකයන්ගේ අනෙක් තර්කය වන්නේ කම්කරුවන් හා සේවායෝජකයන් අතර‍ කේවල් කිරීම් සඳහා වෙනත් යාන්ත්‍රණයන් ඇති බවයි. ඒ සඳහා පඩි පාලක සභා හා විශේෂිත ක්ෂේත්‍ර සඳහා වන සාමූහික ගිවිසුම් තිබේ. කෙසේ වෙතත් මේවායින් ආවරණය වන්නේ සේවකයන්ගෙන් සුළු අනුපාතයක් පමණි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ මිලියන අටක් වන රාජ්‍ය හා පෞද්ගලික අංශයවල ශ්‍රම බලකායෙන් සංගම් සාමාජිකත්වය ලබාගෙන තිබෙන්නේ 12 – 15 % අතර ප්‍රතිශතයකි. පෞද්ගලික අංශය පමණක් සැලකිල්ලට ගතහොත් සංගම් තුළ සංවිධානගත වූ සේවක ප්‍රතිශතය දිනෙන් දින අඩු වෙමින් තිබේ. විශේෂයෙන් ම අසංවිධිත ශ්‍රම බලකාය සම්බන්ධයෙන් මෙය කැපී පෙනේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ලංකාවේ ශ්‍රම බලකායෙන් 61%ක් අසංවිධිත ශ්‍රමිකයෝ ය.

මේ අතර වෘත්තීය සමිති ද කැඩී, බිඳී, විසිර යමින් තිබෙන අතරතුර ඇතැම් සේවයෝජකයින්ද කම්කරු නියෝජනය තව තවත් බිඳ දැමීමට උත්සාහ කරති. වැටුප් වැඩිවීම් දිනාගැනීමේ වර්තමාන ක්‍රමවේද ගැන කරුණු ඉදිරිපත් කරන ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනය විසින් හිතාමතා ම වෘත්තීය සමිති පිළි නො ගැනීමේ හා මර්දනය කිරීමේ ඉතිහාසය අමතක කරනු දැකිය හැකි ය.

ලංකා කම්කරු සම්මේලනයේ ටී.එම්.ආර්. රශීඩින් 2015 මාර්තු 01දා සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි තර්ක කරන ආකාරයට කම්කරු වැ‍ටුප් ඉල්ලීම් දිනාගැනීම සඳහා රජයේ මැදිහත්වීමෙන් පරිබාහිර ඵලදායී යාන්ත්‍රණයන් ඇති බවට කරන තර්කය යහපත් අරමුණකින් කරන්නක් වන්නේ නැත.

රු. 2500 වැටුප් වැඩිවීම දිනාගැනීමේ අරගලය ඔස්සේ සේවකයන් අතර වැඩි දැනුවත්භාවයක් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. එමගින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් අතර ඇති කර තිබෙන කෘත්‍රිම විභේදනය වැනි බාධක මගහැරිය හැකි බව ද ඔහු පවසයි. ඒ අනුව වැ‍ටුප් ඉල්ලීම් සාධාරණීකරණය හා ඒවා දිනාගැනීමේ ක්‍රමවේදය වෙනත් තැනක නිර්මානය කිරීමට සිදු වී තිබෙන බව පැහැදිලි ය.

ශ්‍රමයේ වටිනාකම

මාක්ස් වරක් සඳහන් කළ ආකාරයට ශ්‍රමයේ වටිනාකම තීරණය වන්නේ කම්කරුවන්ට සිය ජීවන ප්‍රමිතිය ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය දෙය අර්ථකථනය කරනු ලබන ඓතිහාසික හා සදාචාරමය මූලධර්මයන් අනුව ය.

ශ්‍රී ලංකාවේදී මෙය තීරණය වන්නේ පාරිභෝජන බඩුමල්ල පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදක විශ්ලේෂණයෙනි. වර්තමානයේදී කොළඹ ජීවත් වන සාමාන්‍ය ගෘහ ඒකකයකට පැවැත්ම සඳහා මසකට රු. 51,000 අවශ්‍යය. (මෙය ගණනය කර ඇත්තේ 2015 පෙබරවාරියේදී යාවත්කාලීන කරන ලද 2006/2007 වසර පාදක කරගත් කොළඹ පාරිභෝගික මිළ දර්ශකය අනුවයි.)

මෑතදී එක් වෘත්තීය සමිති නායකයකු සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ මහජන යථාර්ථයන් නිරූපණය වන විවිධ අංශවලට සුවිශේෂ වන පාරිභෝජන බඩු මලු මේ සඳහා යොදාගන්නේ නම් එය වඩා ප්‍රායෝගික බවයි.

මේ රටේ ලැයිම් කාමර හා නේවාසික ගාරවල සිටින බොහෝ දෙනෙකුට ජීවත් වන්නට සිදු වී තිබෙන අවාසනාවන්ත තත්වයන් අනුව මේ කාරණා සැලකිල්ලට ගත යුතු ය. මිනිසුන් ඇත්තෙන් ම දිවි රැක ගන්නා ආකාරය සලකා බැලූ විට වැ‍ටුප් වැඩි කළ යුත්තේ සාධාරණ යයි අර්ථකථනය කර ගත හැකි ජීවන තත්වයක් ඇති කර ගත හැකි වනු පිණිස බව අවබෝධ වේ.

අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ අඩු කළේ ද, සහනාධාර වැඩි කළේ ද ඒ වෙනුවෙනි. එමගින් ද ප්‍රකාශ වුණේ සාධාරණ ජීවන ප්‍රමිතියක් පිළිබඳ සාමූහික අදහසකි.

යුද්ධයෙන් පසු ආර්ථික ප්‍රශ්න පිළිබඳ විවාද ජීවන වියදම හා දූෂණ වැනි පාරිභෝජන ප්‍රශ්න කෙරෙහියොමු වි ඇත. නිෂ්පාදනය හා සම්බන්ධ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට කාලය දැන් එළඹ තිබේ.

නිදසුනක් ලෙස නිදහස් වෙළඳ කලාප ශ්‍රමිකයෝ දැන් රැකියා අතහරිමින් විදේශයන්ට සංක්‍රමණය වෙමින් සිටිති. පෞද්ගලික අංශයේ බොහෝ ව්‍යවසායකයෝ ශ්‍රමිකයන් සොයාගැනීමේ බරපතල අර්බුදයකට මුහුණ දී සිටිති. නිදහස් වෙළඳ කලාපවල පුරවා ගත නො හැකි පුරප්පාඩු 16,000ක් තිබේ. ශ්‍රී ලංකාවේ හා වෙනත් දකුණු කලාපීය රටවල ජනයා සාධාරණ ජීවන තත්වයක් ඉල්ලා සිටිති.

පසුගිය මාසයේ වෘත්තීය සමිති උද්ඝෝෂණවලින් ද පෙනුණු පරිදි කම්කරුවන් වීදියට කැඳවනු ලබන්නේ මෙම හේතු මත ය.

යහපාලනයේ ගැඹුර

මෛත්‍රීපාලගේ යහපාලන ව්‍යාපාරයත් සමග ම සාධාරණත්වය හා නියෝජනය යන සංකල්ප නැවතත් සාකච්ඡාවට භාජනය විය. මෙය ඉදිරියට ගෙන යා යුතු ය. රාජ්‍යය හා සමාජය අතර මූලික සම්බන්ධය විවරණයට භාජනය කළ යුතු ය. එය අද තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයට වඩා ගැඹුරට යා යුතු ය.

ප්‍රශ්නය වන්නේ සමාජය ප්‍රතිසංස්කරණය කරනු පිණිස කම්කරුවන් විසින් කරන ලද උද්ඝෝෂණය එතරම් ප්‍රබල හඬක් නඟමින් තිබියදීත් මගහැරුණේ ඇයි ද යන්නයි. ජනප්‍රිය මාධ්‍ය මුළුමනින් ම පාහේ දූෂිත දේශපාලකයන් වෙත අවධානය යොමු කර ඇත්තේ ඇයි?

මෙයට පිළිතුර සමාජය මුහුණ දෙන වඩා විශාල ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට සමත් පුළුල් පරාමිතියකින් යුක්ත විය යුතු ය. පොරොන්දු ඉටු කිරීම සඳහා ආණ්ඩුවට බල කිරීම සඳහා තවදුරටත් ජනතාව බලමුළුගන්වන්නට සිදු වේ. ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආකර්ශනීය රටක් බවට පත් කිරීමේ ඉහළ පෙළේ අවධාරණය තුලනය කිරීම සඳහා එය අවශ්‍ය ය.

වැටුප් ඉල්ලීම් හේතුවෙන් ආයෝජකයන් බියපත්වනු ඇති ය යන සේවායෝජකයන්ගේ තර්කය කෙසේ වෙතත්, වැටුප් වැඩි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වනු ඇත. සැමට සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා වු ශ්‍රී ලංකාවේ ආයතනවල පොරොන්දුව යථාවත් වනු ඇත.

කලින් ආණ්ඩුවේ ගජමිතුරන්ට දුන් වරදාන ගැන දැන් සමාජයේ සාකච්ඡාවක් තිබේ. එහෙත් මීළඟට අප කටයුතු කළ යුත්තේ ජනතාවගේ දෛනික ආර්ථික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරවීමටයි.

මෙමගින් රාජපක්ෂ රෙජිම පරාජය කිරීමෙන් පසු ඇති කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදයෙන් අදහස් වන්නේ කුමක් ද යන ප්‍රශ්නය වෙත නැවතත් අවධානය යොමු කෙරේ. රාජ්‍යයත් සමාජයත් අතර සම්බන්ධය ප්‍රගතිශීලී පරිවර්තනයකට ලක් කිරීමෙහිදී කම්කරු වැටුප රු. 2500කින් වැඩි කිරීම මූලික වැදගත්කමකින් යුක්ත වේ.

දේවක ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ සාමූහිකය